Saturday, December 31, 2011

විජ්ජුලතාවිය


උඳුවප් 31, 2011 / ශනිදා.

මේක සිංදුවක්. කාන්තාව ගැන ලියවිච්ච ගීතයක්. කාන්තාව එක් එක් අවස්ථා වලදී පිරිමියාට සැනසීම සහ වැනසීම ගෙනදෙන එක ගැන තමයි කතා කරන්නේ. ඒ මට හිතෙන හැටි.  ටිකක් අළුත්. සමහරු අහලත් ඇති. ලියුවේ මම දන්න කියන හිතවතෙක්. සුනිමල් විතානගේ. ඔය වීඩියෝ එකේ ගීතය ගැන හැදින්වීමක් කරන්නේ එයා තමා.. පුද්ගලික ආයතනයක ඉහල තනතුරක් හොබවන්නේ. හැබයි සංවේදී හදවතක් තියන පුද්ගලයෙක්. එහෙම නැතුව ඉතින් ගල් හිත් තියන මිනිස්සුන්ට සිංදු ලියන්ඩ බෑ නේද ?

සංගීතය, නව පරපුරේ දක්ෂ සංගීත වේදියෙක්. රංග දසනායක. නැසීගිය ශ්‍රේෂ්ඨ සංගීතඥ D.M. සරත් දසනායකයන්ගේ දෙටු පුත්‍ර රත්නය.. තාත්තගේ හැකියාව නොඅඩුව පිහිටලා තියනවා කියලා හිතෙනවා මේ සිංදුව ඇහුවාම.

ගායකයා ගැන නම් මම අටුවා, ටීකා, ටිප්පනි දෙන්ඩ ගිහිල්ලා නිකන් කිච වෙන්ඩ යන්නෑ. එතුමා එතරම් ජනප්‍රියයි සහ ප්‍රසිද්ධයි. මගෙනුත් කව්රුහරි ඇහුවොත් කව්ද ආසම ගායකයා කියලා එතුමාගේ නම තමා කියන්ඩ වෙන්නේ. සිංදුව දැනටමත් අහලා තියන අය ඉතින් එතුමා ගැන දන්නවා. නැති අය ගීතය අහලාම දැන ගන්ඩකෝ..

වීඩියෝ එක නම් සංස්කරණය කෙරුවේ මම. බලන්ඩකෝ ඒකෙන් ගීතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලාද, එහෙම නැත්නම් නැත්නම් වරිගෙ නහගනද කියලා. පිරිමියා මානසිකව වැටෙන අවස්ථාවලදී, ගැහැණිය ඉදිරිපත්ව ඔහුව ධෛර්‍ය්‍යට පත් කිරීම තමා පෙන්නන්ඩ උත්සහා කරන්නේ. මේක ගීතයේ කථාකරන සමස්ත අර්ථයෙන් එක කොටසක් විතරයි.

( හෙඩ් ෆෝන් එකක්, ෆුල් වොලියුම් දාලා ඇහුවානම්, සංගීත වේදියාගේ හැකියාව උපරිමයෙන් රස විදින්ඩ පුළුවන් වෙයි. )







එහෙනම්, හැමෝටම ලබන්නාවූ 2012 නව වසර, කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, සුබම සුබ නව වසරක් වේවා !!!!!!!!!!


Saturday, December 24, 2011

ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා.....


උඳුවප් 24, 2011 / ශනිදා.




දිනය, 1982 ජුනි 30 වැනිදා. ටෝකියෝ බලා ගමන් කිරිමට නියමිත ගුවන් යානය, ලහි ලහියේ ඒ සඳහා සුදානම් වෙමින් පවතී. සියළු මගීන් යානයට ගොඩවී තමනට වෙන්වු අසුන් සොයා යයි. ගුවන් සේවිකාවන්ද ඔවුන්ට සහය වෙමින් යානය ගුවන් ගත කිරිමට අවශ්‍ය පූර්ව සුදානම් කිරිම් වල නියෙලෙමින් සිටියාය. මොහොතකින් සියල්ල සුදානම්. මගීන් 340 ක් රැගත් Alitalia AZ 1790 Boeing 707 ගුවන් යානය නව දිල්ලි අහස් කුස දෙබෑකරගන ගුවන් ගතවිය.

සියල්ල යථාපරිදි සිදුවෙමින් පැවතුනි. මගීන් සුවපහසු ලෙස සිය අසුන්වලට බරදෙමින් සිටින අතරතුර කාර්‍ය්‍යය මණ්ඩලය සිය කටයුතුවළ නිරත වෙමින් සිටී.

යානය අඩි 35,000 ක්වු, පියාසර මට්ටමට ලඟාවිය. මේ අතරතුර එක් ගුවන් සේවිකාවක් විසින් කපිතාන් Georgo Amarosa වෙත මගියෙකුගෙන් ලද ලියමනක් යොමුකරන ලදී. තමන් විසින් පාලනය කරනු ලබන යානය සිය පාලනයෙන් ගිලිහී ඇති බව අවබෝධ කොට ගැනීමට මේ පළපුරුදු නියමුවාට එම ලිපිය දෙවරක් කියවීමට අවශ්‍ය නොවුනි.

*******************************************************************************************************************




1949 ජුනි 03 වෙනිදා, මාතර කරතොට ග්‍රාමයේ උපත ලබන සේපාල, හම්බන්තොට යෝධකණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබයි. කුඩාඅවදියේ සිටම විප්ලවකාරි චරිතයක් වන සේපාල, 50 දශකයේ අග බාගයේදී සිය පියාත් සමඟ ඇතිකරගන්නා ආරවුලක් හේතුකොටගෙන නිවසින් පිටව ගොස්, එවකට ආනන්ද කනිශ්ඨ විද්‍යාලයේ විදුහල්පති  D.L.B. පෙරේරා මහතාගේ නිවසේ නතරව සිටී. 1972 දී, සේපාල ඉසුරු සොයා බටහිර ජර්මනිය බලා යෑමට තීරණය කරයි.

1973 දී, බටහිර ජර්මනිය බලා යන සේපාල, පළමුවෙන්ම කම්කරුවෙකු ලෙස අව්රුදු තුනක් බටහිර ජර්මනියේ රැකියාව කරයි. මේ අතර තුර, ඉතාලි ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ මිතුදමක් ගොඩ නගා ගන්නා සේපාල, 1976 ඔවුන්  සමඟ ඉතාලියට පැමිණ,  සිය මිතුරන් ගේ සහායෙන් ඉතාලියේ මොඩෙනා නගරය ආසන්නයේ ගොවිපලක රැකියාවක් ලබා ගනී.


සිය මිතුරකු මාර්ගයෙන් Anna Aldrovandi හඳුනා ගන්නා සේපාල, ඇය සමඟ පෙම්සබඳ තාවයක් පටන් ගන්නා අතර, ටික කලකින් එක්ව වාසය කිරිමට පටන් ගනී. 1978 දී සිය දරුවා වූ ෆ්‍රී ඒකනායක, ඔවුන් අතරට පැමිනෙන අතර එම වසරේදීම ඇනාගේ පාර්ශවයෙන් එල්ලවන විරෝධයද නොතකා ඔවුන් නීත්‍යණුකූලව විවාහ වේ.

මේ අතර වාරයේ සිය ඉතාලි විසා බලපත්‍රය කල් ඉකුත්වීම කරනකොටගෙන, සේපාල විසින් එය දීර්ග කිරීමට ඉල්ලුම් කරන අතර ඉල්ලීම ප්‍රතීක්ෂේප කළ ඉතාලි ආගමන බලධාරින් නැවත ලංකාවට ගොස් ලංකාවේ ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය හරහා ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස දන්වා සිටී.

මෙම කරුණ සහ තවත් කරුණු කිහිපයක් මුල් කොටගෙන සේපාල සහ බිරිඳ අතර මත ගැටුම් හටගන්නා අතර, සිය දරුවාද කැටුව සේපාල ලංකාවට පැමිණේ.


පසුව සිය සහෝදරයකුද සමඟ ලංකාවට පැමිණෙන ඇනා, හෝටලයක නතරවන අතර සේපාල අමතමින් දැනුම් දෙන්නේ, වීසා සම්බන්ධ ගැටළු සියල්ල නිරාකරණය කරගත් අතර දරුවාද කැටුව හෝටලයට එන ලෙසය. දරුවාද රැගෙන හෝටලයට යන සේපාල, ඇයට දරුවා බාර දෙන අතර ඊලඟ දවසේ හෝටලයට යනවිට දැන ගන්නට ලැබෙන්නේ  ඇනා සහ සොහොයුරා දරුවාද රැගෙන රටින් පිටව ගොස් ඇති බවයි.


නැවත ඉතාලියට යාමට, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය හරහා විසා ලබාගැනිමට උත්සහා කලද, සිය සියළු උත්සහායන් අසාර්ථක වන්නේ කෝපයෙන් දැවුනු, අසහනකාරී පියෙකු ඉතිරි කරමිනි.

*******************************************************************************************************************

සේපාල ඒකනායක
"This plane must land at Bangkok airport. Doors of the plane should not be open. Our demands must be communicated to the Bangkok airport and the Italian authorities immediately. All discussions with us should be restricted to radio communications only. We have got the most sophisticated bombs manufactured in Italy. If we feel that you are trying to deceive us or to attack us, the plane with all the passengers, will be blown up. Simultaneously with that explosion, or a little later, there will be two more blasts in Modena and another city in Italy."


" මෙම ගුවන් යානය, බැංකොක් ගුවන් තොටුපලට ගොඩ බැස්සවිය යුතුය. යානයේ දොරවල් විවෘත නොකළ යුතුය. අපගේ ඉල්ලීම් බැංකොක් ගුවන්තොටුපළ හා ඉතාලි බළධාරීන්ට වහාම දැනුම්දිය යුතුය. අප හා කෙරෙන සියළුම සාකච්චා ගුවන්විදුලි කථන මගින් පමනක්ම කල යුතුය. අප සන්තකයේහී ඉතාලියේ නිශ්පාදිත අති නවීන බොම්බ ඇති අතර, අපව රැවටීමට හෝ පහර දීමට උත්සහා කලහොත්, සියළුම මගීන් සමඟ යානය පුපුරුවා හරින අතර ඊට සමගාමිව හෝ මදකට පසුව, ඉතාලියේ මොඩෙනා නගරයේ හා තවත් නගරයක පිපිරීම් සිදුවනු ඇත."

පාලන මැදිරිය අමතා සිද්ධීය දැනුම් දුන් කපිතාන් Georgo Amarosa ඔවුන්ගෙන් ලද උපදෙස් මත ක්‍රියාත්මක විය.


" සියලුම මගීන් සිය ආසන පටි සවිකරගන, හදිසි ගොඩබැස්සවීමක් සඳහා සුදානම් වන්න"


නියමුවාගෙන් නිකුත් වූ මෙම නිවේදනයත් සමගම, එක් මගියකු හැර අනික් සියළුම මගීන් තුෂ්නිම්භූත විය. අවිනිශ්චිතතාවයට පත්විය. සිදුවෙමින් පවතින්නේ  කුමක්දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු විය.


සේපාල ඒකනායකගේ නියෝගය මත, යානය බැංකොක් ගුවන්තොටුපලට ගොඩබැස්සවීය. ඔහු විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකි.

1. ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා, ඔහු වෙත පැමිණවිය යුතුය.
2. ඩොලර් 300,000.00 කප්පම් මුදලක් ඔහුට ගෙවිය යුතුය.
3. සියළුම මගීන්, ආරක්ෂක පරික්ෂා කිරීම් වලින් තොරව ගුවන් යානයෙන් පිටවීමට අවසර දිය යුතුය.


මුළු ලොවෙහිම අවධානය තායිලංතයේ, බැංකොක් නගරය වෙත යොමුව තිබුනි. සියළු මාධ්‍ය කරුවන් වෙන්නේ කුමක්දැයි දැනගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටියේය.


දීර්ග අවිනිශ්චිතභාවයකට අනතුරුව, අවසානයේදී, සේපාලගේ බිරිඳ සහ දරුවාද, ඉල්ලූ කප්පම් මුදලද බැංකොක් වෙත ලඟාවෙමින් පවතින බව ආරංචි විය. කෙසේවෙතත්, සියල්ල එලෙසින්ම විශ්වාසයට ගැනීමට අදිමදි කල සේපාල, තමන්ට තම දරුවාගේ කට හඬ ශ්‍රවණය කිරීමට අවැසිබව දන්වා සිටියේය. ( පසුකලෙක ෆ්‍රී ඒකනායක, තමාට මෙම සිද්ධිය මතක බවද සඳහන් කළේය. )


දිගු අදහස් හුවමාරුවකින් පසු, තමන්ගේ ඉල්ලීම් සියල්ල ලබාගත් සේපාල, සියළුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ විය. සියළුම මගීන් එකිනෙකා යානයෙන් පිටත්විය. අවසානයේ සේපාල යානයෙන් පිට වූ අතර, මුළු ලොවම සිද්ධිය මෙසේ, ලේ වැගිරීමකින් තොරව අවසන් වීම ගැන සැනසුම් සුසුම් හෙලූහ.


දැන් සේපාල හමුවේ ඇති අළුත් පැනයකි. තම බිරිඳ හා දරුවා සමඟින්, අළුතින් ලබාගත් ධනය උපයෝගී කොටගෙන නව ජීවිතය අරබන්නේ කොහේද යන්නයි. මෙහිදී සේපාල හමුවට එන තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිනිය වූ, මානෙල් අබේසේකර මහත්මිය, ඔහුට නැවත කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව බලා යා හැකි බව දැනුම් දුන්නාය. ( මෙම ප්‍රකාශය ගැන පරස්පර විරෝදතා ඇති අතර, පසුකලෙක ඇය විසින් එය මෙසේ ප්‍රතික්ශේප කොට ඇත.)

අවසානයේදී, සේපාල ශ්‍රි ලංකාවට යෑමට තීරණය කරන අතර 1982 ජුලි 02 වන දින සිය බිරිඳ සහ දරුවා සමගින් ලංකාවට පැමිනෙන්නේ රුහුණේ ජනතාව වෙතින් වීරයකුට ලැබෙන පිළිගැනීමක්ද සමගිනි. ඩොලර් 300,000.00 ක්වු කප්පම් මුදලද කිසිඳු අවහිරයකින් තොරව රේගුවෙන් නිදහස් කරගන්නා සේපාල, ගුවන්තොටුපලේ සිට Ceylon Inter- Continental හෝටලය වෙත ගමන් කෙරුවේය.

*******************************************************************************************************************

සිද්ධිය මෙසේ අවසන් වුවද, ඉතාලි රජය සහ ජාත්‍යන්තරය එය ලෙහෙසියෙන් අත්හැරීමට සූදානම් නොවීය. ශ්‍රි ලංකා රජයට බලකරමින් ඔවුන් දන්වා සිටියේ, සේපාලව  අත්අඩංගුවට ගෙන ඉතාලි රජයට බාර දිය යුතු බවයි. සුපුරුදු පරිධි සිය තර්ජනාංගුලිය දිගුකරමින් ලෝක පොලිස් කාරයා වූ ඇමරිකාව දන්වා සිටියේ, ශ්‍රි ලංකාව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රි ලංකාවද ගුවන් මංකොල්ලකෑම් සම්බන්ධයෙන්, ලිබියා රාජ්‍යය ගණයේ රටක් ලෙස සැලකීමට සිදුවන බවයි. නැග එන ජාත්‍යන්තර පීඩනය හමුවේ ශ්‍රි ලංකාවද මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කළයුතු තැනට තල්ලුවෙමින් පැවතුනි.

1982 ජූලි 02 වන දින රාත්‍රී 0800 පමණ, විදේශ ඇමති A. C. Shaul Hamid සිය ජේෂ්ඨ නිළධාරි මණ්ඩලය, නීති උපදේශක වරුන්, විදේශ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  සිය නිළ නිවසට කැඳවන්නේ මේ තත්ත්වය හමුවේ යම් දෙයක් කලම යුතු වූ බැවිනි.

පැයක පමණ සාකච්චාවකින් පසු, කොළඹ දිශාව බාර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද සාකච්චාවට සහභාගී කරගැනිම සඳහා කැඳවන ලදී. මිනිත්තු 15 ක් පමණ කාලයකදී එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා අදාළ ස්ථානයට පැමිණුනි. අවෙලාවේ කැඳවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කොට සිටි, විදේශ ඇමති තුමා, කැඳවීමට හේතුව කෙටියෙන් විස්තර කරන ලදී. මෙය ශ්‍රි ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ මුල්ම අවස්ථාව විය.

මේ අතර සේපාල සිය බිරිඳ සහ දරුවා සමගින් Ceylon Inter- Continental හෝටලයේ 730 කාමරයේ නතරවී සිටි අතර, දෙස් විදෙස් මාධ්‍ය ඇතුළු, ඉතා විශාල පුද්ගල සංඛ්‍යාවක් ඔහුව හමුවීමට පැමිණෙමින් සිටියේය. කොටුව පොලිසිය සේපාලගේ සියළු කටයුතු සම්බන්ධයෙන් ඇස ගසාගන සිටි අතර නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතාවද දැනුවත් කොට තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ඇමති තුමා ඇතුළු පිරිස, නවතම තත්ත්වය පිළිබඳව දැනුවත් කළහැකිවිය. ඇමති තුමා මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකොට සිටියේය.

අවසානයේදී, දීර්ග සාකච්චාවකින් පසුද, ගත හැකි ක්‍රියාමර්ගයක් නොදුටු ඇමතිතුමා, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහාතා දෙසට හැරෙමින්,

"ඇයි අපිට මේ මනුස්සයව අත් අඩංගුවට ගන්ඩ බැරි ? " යැයි ඇසීය.

" සර්, මේ සම්බන්ධයෙන් පුවත් පත් වාර්ථා මිස, මේ දක්වා කිසිදු පාර්ශවයකින් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. අනිත් එක, ශ්‍රි ලංකා නීතියේ හැටියට ඔහු කිසිදු අපරාධයක් නොකරපු කෙනෙක් හැටියට තමා සලකන්ඩ වෙන්නේ, මොකද ගුවන් යානා මංකොල්ලකෑම් වලට එරෙහි නීතියක් මේ දක්වා ශ්‍රි ලංකාවේ සම්මත කරගන නැහැ."

මේ අවස්ථාවේදී එක් නීති උපදේශකයකු කතා කරමින්,

" සර් අපි මේ සම්බන්ධයෙන්, පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉක්මනින්ම සම්මත කරගමු."

"තමුසෙට පිස්සුද ? ඕකට සතිගානක් යයි. අනිත් එක විපක්ශෙන් අපිට හොඳ ප්‍රහාරයක් හම්බවෙයි, IATA සම්මුතියට අත්සන් කරපු වෙලාවෙම මේක සම්මත කරගතේ නැති එක ගැන." ඇමතිතුමා කෝපයෙන් උත්තර දෙයි.

මෙහිදී කතාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, "සර් මේකට සම්බන්ධ කුමන හෝ පාර්ශවයකට, මේ ගැන පැමිණිල්ලක් කරන්ඩ පුළුවන්නම්, මම වගකීම බාර අරගන ඔහුව අත් අඩංගුව ගන්නම්." තවදුරටත් කතාකරමින් ඔහු යොජනා කොට සිටියේ Alitalia ගුවන් සේවයේ අයිතිකරුවන් ලෙස, ඉතාලි රජය වෙනුවෙන්, ඉතාලි තානාපති මේ සම්බන්ධයෙන් පමිණිල්ලක් කරන්නෙනම් වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බවයි.

මෙහිදී දුරකථනය වෙත ගිය ඇමතිතුමා ඉතාලි තානාපතිවරයා අමතන්නට විය. " මිනිහා දැන්මම එන්නම් කිව්වා "  කියමින් ඇමතිතුමා දුරකථනය විසන්දි කළේය.

රාත්‍රී 11.00 ට පමණ ඉතාලි තානාපති Franco Micieli de Biase මහතා, එම ස්ථානයට ලඟාවිය. තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු, ඉතාලි තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට එකඟ වූ අතර, නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා පසුදින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට ගොස් එම පැමිණිල්ල ලබා ගැනීමට එකඟ විය.

පසු දින ඉතාලි තානාපති කාර්‍ය්‍යාලයට වාර්ථාකල නියොජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා සහ කොටුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක George Nicholas මහතා පහත සඳහන් පැමිණිල්ල, ඉතාලි තානාපතිවරයා අතින් බාරගන්නට යෙදුනි.

Colombo, 2nd July 1982

"Ambasciata d'Italia
Colombo.

N. 1508

The Inspector General of Police,
Police Headquarters,
Colombo 1

Dear Sir,

Acting on behalf of the Italian Government, I wish to lodge a complaint with the Sri Lanka Police Authorities that the Sri Lankan national Sepala Ekanayake, born on 30.6.1947 at Matara, has hijacked an airplane (Flight No. AZ 1790) of Itali's national airline ALITALIA on 29.6.82 in Bangkok, Thailand, taking hostage of the crew and passengers and subsequently extorted and obtained a ransom of 300,000 US $ from the Italian Government for the release of such hostages and the aircraft.
On behalf of the Government of Italy, I kindly request the Sri Lanka Police Authorities to take necessary action under law against said Sepala Ekanayake for the crime committed and for the return of 300,000 US $ to the Italian Government.

Thanking you,

Yours sincerely,

Sgd/

(Franco Micieli de Biase)
Italian Ambassador

පරිවර්තනය.



1982 ජූලි 02

ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය
කොළඹ

අංක 1508

පොලිස්පති තුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 1.

මහත්මයාණනී,

ඉතාලි රජය වෙනුවෙන් කටයුතු කරමින්, පහත සඳහන් පැමිණිල්ල ඔබ වෙත බාර දීමට මා බලාපොරොත්තු වෙමි.

1947 ජුනි 03 වන දින මාතරදී උපත ලද, ශ්‍රි ලංකිකයකු වූ, සේපාල ඒකනායක නැමැත්තා 1982 ජුනි මස 29 වන දින තායිලංතයේ බැංකොක් නුවරදී, ඉතාලි රජයට අයත් Alitalia AZ 1790 ගුවන් යානය එහි ගමන් ගත් මගීන්ද සමඟ පැහැරගෙන,  ඔවුන් සහ කාර්‍ය්‍යය මණ්ඩලය, ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඩොලර් 300,000.00 කප්පම් මුදලක් ඉතාලි රජයෙන් ලබා ගැනීමට කටයුතු කොට ඇත.

ඉතාලි රජය වෙනුවෙන්, මා ශ්‍රි ලංකා පොලීසියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, කළ වරද සම්බන්දයෙන්, පවත්නා නීතිය යටතේ, සේපාල ඒකනායක නැමැත්තාට එරෙහිව නිසි පියවර ගෙන, ඩොලර් 300,000.00 මුදල නැවත ඉතාලි රජයට ලබාදීමට කටයුතු කරන මෙනි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,


Sgd/
(Franco Micieli de Biase)

ඉතාලි තානාපති.
---------------------------------

එම ලියවිල්ල නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස, පොත්වල සටහන් කිරීමෙන් පසු, එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා, ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතාට, නියෝග කරමින් කියා සිටින්නේ සේපාල ඒකනායකව වහා අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හමුවට පමුණුවන ලෙසයි.


මේ අනුව ක්‍රියාත්මක වන ප්‍රධාන පොලිස් පරීක්ශක George Nicholas මහතා, සේපාල ඒකනායකව අත්අඩංගුවට ගැනිමට හෝටලයට ගියද ඔහුට දැනගනීමට ලැබෙන්නේ සේපාල ඒකනායක ඒ වනවිටත් සිය බිරිඳ හා දරුවා සමඟ හෝටලයෙන් පිටව ගොස් ඇතිබවයි. වැඩිදුරටත් සිදුකල පරික්ශණ වලින් දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් ගාල්ල බලා ගමන් කොට ඇති බවයි. එදිනම සවස ගාල්ලේදී සේපාල ඒකනායකව අත්අඩංගුවට ගනු ලබයි.



මෙහිදී වහා ක්‍රියාත්මක වූ, ඉතාලි තානාපති කාර්‍ය්‍යාලය, සේපාලගේ බිරිඳව සහ දරුවාව, කඩිනමින් නැවත ඉතාලියට යැවීමට කටයුතු කරන ලදී.

සේපාල ඒකනායකව මෙසේ අත් අඩංගුවට ගත්තද ඔහුට එරෙහිව කටයුතු කිරීම්ට නීතියක් ශ්‍රි ලංකාවේ ඒ වන විට නොපැවති හෙයින්, සේපාලව අධිකරණය ඉදිරියට පැමිණවීමට පෙර එය සම්මත කර ගැනීම අවශ්‍යය විය.

එලෙස ගුවන් මංකොල්ලකෑම් වලට එරෙහි නීතිය, අතීතයටද බලපාන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කරගැනීමෙන් අනතුරුව, සේපාල ඒකනායකව, ඉහල උසාවියෙ විනිසුරු J.J.S.A ඩයස් උපවංශ යාපා මහතා ඉදිරියට පමුණුවන ලද අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ද නීතීඥ රන්බංඩා සෙනෙවිරත්න මහතා පෙනී සිටින ලදී.

නඩු විභාගය අවසානයේදී, සේපාල ඒකනායකට, පස් වසරක සිරදඩුවමක් හිමිවන අතර, 1987 දී ඔහු එයින් නිදහස් විය. පසුකලෙක සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක හා විවාහ වන අතර, ඔවුන්ගේ කැදල්ලට දරු දෙදෙනෙකුද එකතු වේ.

තමාට ඇති ආදරය වෙනුවෙන් මුළු ලෝකයම හෙල්ලූ මේ ශ්‍රේෂ්ඨ තාත්තා බැලිමට, වයස 19 දී ෆ්‍රී ඒකනායක ලංකාවට පැමිනෙන අතර, පිය පාර්ශවයෙන් ශ්‍රි ලංකිකයකු වන ෆ්‍රී, තමන් ලංකාවට හා එහි අහාර වලට රුචි බවද සඳහන් කරයි. අනාගතයේ දවසක කරුණු යෙදෙන ලෙස, සමහර විට තමන් ශ්‍රි ලංකාවේ පදිංචි වීමට පැමිණීම උවද විය හැකි බව ෆ්‍රී ඒකනායක සඳහන් කරයි. වැඩි විස්තර මෙතනින්.

වසර 16කට පසු හමුවූ පියා සහ පුතා
ෆ්‍රී සිය සොයුරු සොයුරියන් සමඟ



එදා මෙදා තුර ගුවන් යානා මංකොල්ලාකෑම් ඉතිහාසය පරික්ෂා කිරීමේ දී, දේශපාලනික නොවූ, මානුෂීය හේතුවක් පදනම් වූ, එකම ගුවන් යානා මංකොල්ලය, සේපාල ඒකනායක විසින් සිදුකල ගුවන් කොල්ලය සේ සැලකිය හැකිය. එසේම ගුවන් යාන මංකොල්ලයක් සිදුකල ප්‍රථම සහ එකම ශ්‍රි ලාංකිකයා ලෙසද සේපාල ඒකනායක ඉතිහාසයට එක්වේ.

සේපාල ඒකනායක සතුව ගුවන් යානය පුපුරුවා හැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ නොතිබුන පසුව මාධ්‍ය වාර්ථා ඔස්සේ කියවුනද, ඒවා ප්‍රතික්ශේප කරන සේපාල, තමා සතුව බෝම්බ 10 කට ආසන්න සංඛ්‍යාවක් තිබුන බව පිළිගනී.

ඇන්ටන් ජෝන්ස් විසින් සේපාල ඒකනායකට උපහාර ලෙස ගැයූ ගීතය.


පසු සටහන :

මෙහි එන සමහර දෙබස් සහ අවස්ථා, එලෙස සිදුවන්නට ඇතැයි උපකල්පනය කොට මනඃකල්පිතව යොදන ලදී. ඒවා සත්‍යය සිද්දියෙන් මදක් බැහැර විය හැකි බව කරුණාවෙන් සළකන්න.

මූලාශ්‍ර;

http://en.wikipedia.org/wiki/Sepala_Ekanayake
http://www.lankanewspapers.com/news/2007/1/11534_space.html
http://www.island.lk/2008/05/31/satmag1.html
http://www.island.lk/2008/05/21/opinion1.html
http://sundaytimes.lk/980301/plusm.html
http://www.nation.lk/2007/07/15/newsfe5.htm


විශේෂ ස්තූතිය;
මුළින් ලියවුන, සදොස් බහුල ලිපිය කියවා, ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කොට, වඩා නිවැරදි තොරතුරු අඩංගු සබැඳියක් ලබා දුන්, හරී මිතුරාට. එසේ නිවැරදි කෙරුන කොටස් නිල් පාටින් සළකුනු කොට ඇත.



පින්තූර :  Google Images

Saturday, December 17, 2011

මිනිස් ගති සහ දේව ගති.


උඳුවප් 17, 2011 / ශනිදා.


මේ සයිබර් අවකාශයේ සැරිසරන අපි  කව්රුත් Comments දාන්ඩ දන්නවානේ. ඒ වගේම තමන් ලියපු ලිපියකට Comment එකක් වැටෙනකම් ආසාවෙන් බලාගනත් ඉන්නවානේ. එහෙම නේද ? මම අද ලියන්ඩ යන්නෙ.. Comments  දාන්ඩ ගිහින් වෙච්ච සංගදියක් ගැන.

මේ කතාව පටන් ගන්නේ පහුගිය දවස් වල ඉරානය විසින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානාවක් අල්ලා ගැනීමත් සමගයි.. ( නෑ නෑ කලබලවෙන්ඩ දෙයක් නෑ ඒ ලොකු ලොකු දේශපාලන සංසිද්ධි එක්ක මගේ සම්බන්ධයක් නෑ ). ඕක ඉතින් අල්ලගන නිකන් හිටපන්, මුන් පටන් ගන්නව "දැයට කිරුළ" ( මේක Joseph ගේ අදහසක් ). ඒ කියන්නේ ප්‍රදර්ශණය. ඔන්න ඔය සිද්ධිය වාර්ථා කරනවා LankaCnews ඒගොල්ලන්ගේ අඩවියේ. 

මෙතනදි " LankaCnews " ගැන පොඩි සටහනක් කරන්ඩ වෙනවා. මේ බ්ලොග් ලෝකයේ සැරිසරන බොහොමයක් දෙනා මේ පුවත් අඩවිය ගැන අහලා, දැකලා, කියවලා, ඇති මගෙ හිතේ. මගේ මිනුම් වල හැටියටනම්  LankaCnews යනු බොහොදුරට සමබර වාර්ථාකරණයක යෙදෙන පුවත් අඩවියක්. තමන්ට දෙකක් කියලා දාන කමෙන්ට්ස් උනත් පලකරන්ඩ තරම් ඔවුන් මධ්‍යස්ථයි. අනිත් එක, අනිත් පුවත් අඩවි වගේ නෙමේ, පක්ෂ, විපක්ෂ, පාඨක අදහස් සියල්ලටම තැනක් හම්බෙනවා. ඉතින් Comments වලින් කරගන්නා මහා විවාද බලන්ඩ ඕනානම් යන්ඩ ඕනා LankaCnews එකට තමා. කාලෙක ඉඳන් මගේ එක විනෝදාංශයක් තමා ඕක.

ඉතින් LankaCnews  ඔය පල කරපු පුවතට මම දාපු ගොන් Comment එකක් ගැන උරණ උන එක්තරා නිහතමානී මහත්මයෙක් සහ මා අතර ඇති උන සුහද සංවාදය තමයි මේ ලිපියට වස්තු බීජය සපයන්නේ. වැඩි විස්තර ඕනා නැහැ.. කියවලාම දැනගන්ඩකො. ඔය පහළ තියෙන්නෙ ඒ අදහස් හුවමාරුව තමා. 








දැන් කියවමු අපේ සංවාදේ;




  1. Senna says:
    මුන් කැටපෝලෙකින් ගහලද දන්නෑ ඕක බිම දැම්මේ. යකො පහර දීපු යානයක් ඔච්චර ලස්ස්නට තියෙන්නෙ කොහොමද ? නැත්නම් LCN, නිකන් පින්තූරයක් දාන්ඩ ඕනා කමට මොකක් හරි දාලද ?

    • CITIZEN says:
      gona…pahara deela wattanawa kiwwama eya bomba daala, missile walin gahala witharak wattanna oni ne gono…..thaakshanayen (technically) ema yaanawe pariganaka danthawalata ( hariyata remote control ) ringala ema yaanawe remote control eka thaman athata geneemai…..LCN hariyatai waartha karala thiyenne, tho dannethi deyak thiyanawam eka igenagena comments daapan….

      • Senna says:
        ඇයි ඉතින් ඕකට ගිරිය පුප්පන්, සත්තුන්ගෙ නම් කිය කිය කෑගහන්නෙ. මම දන්නැති, ඔයා දන්න දේ, වැදගත් විදිහට කියලා දුන්නානම් නේද ලස්සන. මේ ලෝකෙ හැමෝම හැම දෙයක් ගැනම දන්නේ නැනේ.
        දැන් මට පේනවා ඔයා සිංහලෙන් ලියන විදිහ දන්නෑ කියලා. මෙන්න ලින්ක් එක. බනින එක එහෙනම් ලස්සන සිංහල අකුරුවලින්ම බනින්ඩකො.

        • CITIZEN says:
          sorry machan….thanks for the link…

        • CITIZEN says:
          මට සමාවෙයන් සෙනා, මගෙ අනිසි වචන මාලාවන් මන්ග් ඉල්ලා අස්කරගන්නවා ….බොහොම ස්තුතියි මචන් ලින්ක් එකට…..

        • annu says:
          එල එල…

        • Test says:
          සිදු වූ අතපසුවීමට සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම ගැන මම මගේ ගෞරව ප්‍රණාමය CITIZEN ට පුදමි. ඒ වගේම එකට එකක නොකර හොඳින් ආමන්ත්‍රණය කිරීම ගැන Senna ටත් මම මගේ හර්දයාංගම ස්තුතිය පල කරමි.
          බටහිර සුද්දත් මේ වගේ තමයි. වැරද්දක් වුණාම සමාව ඉල්ලන්ඩ ලජ්ජා වෙන්නේ නෑ. සුද්දාගේ හොඳ ගති පුරුදු වුණාට මම ඔබ දෙපලට ගෞරව කරනවා.
          CITIZEN ට සහ Senna ට ජය වේවා !

        • Nisuba says:
          ලින්ක් එකට ස්තුතීයි……

        • Senna says:
          අල්ලලා දාපන් මචන් CITIZEN .. උඹ මට වරදක් කලා කියලා මම හිතන්නෑ. ඒක හින්දා සමාව ඉල්ලීම අනවශ්‍යයි.
          උඹේ නිහතමානිකමට මම ගරු කරනවා.
          මමත් මේකෙන් මරු පාඩමක් ඉඟන ගත්තා මචන්. ජීවිතෙ සතුට තියෙන්නෙ අපෙ අතේමයි. දැන් මම උඹට රළු විදිහට උත්තර දුන්නානම් අන්න එතකොට ගැටුමක්. දැන් උඹ මගේ නොදුටු මිතුරෙක්..
          keep in touch… :-)

        • Test says:
          Senna, CITIZEN ට දික් කල මිත්‍රත්වයේ මිතුදමට මගේ පුර්ණ ආශිර්වාදය.
          Senna සහ CITIZEN දෙපලට ජය වේවා !

        • arong says:
          මේ ලින්ක් එකෙන් සිංහල ලියන්න වඩා පහසුයි

        • arong says:
          මේ ලින්ක් එකෙන් සිංහල ලියන්න වඩා පහසුයි
          සිංහලෙන් යමක් අන්තර් ජාලයේ සෙවිමට එහි ඇති යුනිකෝඩ් භාවිතා කොට සිංහලෙන් ලියා උඩ තියෙන ගුගල් සර්ජ් බොක්ස් එකේ අලවන්න (පේස්ට් කරන්නවඩා පහසු විදිහක් මට හමුවු නිසා අනිත් අයටත් දැනගන්න ලිව්වේ

        • Saman 123 says:
          @Senna and Citizen, very good gentlemen, if all lankans are like you , we dont need to fight with others.

      • කොන්දොස්තර says:
        බැලුවම CITIZEN, Senna ට වඩා ගොනේක්නේ

        • Test says:
          පල බූරු “කොන්ද” යන්ඩ. මුන් දෙන්නම හොඳ වැදගත් නම්බුකාර මිනිස්සු.
          මෝඩ “කොන්ද” ට හොඳ නරක වැටහේවා !

        • CITIZEN says:
          කොන්දා…උනු වැරද්දට සමාව ගැනීම ගොන් කමක් කියලා උඹ හිතනවානම්, ඒක උඹගේ මෝඩ කමයි… නමුත් මගේ වැරදිවලට දහස් වතාවක් හරි සමාව ගන්න මං කැමතියි…
          @ටෙස්ට්…ස්තුතියි…


මේ කතාවේ සුළු ගතයුත්තක් ගැබ්වෙලා තියනවා කියලා මට හිතුන හින්දයි ඕගොල්ලොත් එක්ක බෙදා ගන්ඩ තීරණය කලේ. කිසිම වැඩකට නැති දෙයක් වෙන්ඩත් පුළුවන්. තීරණය ඔබ සතුයි. 

මිනිස්සු වන අප හැමෝම නොසිතා, දුරදිග නොබලා කරනා දේවලින් කොතරම් හානියක් සමාජයට වෙනවාද? මගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරමින් දැමූ මෝඩ Comment එක, හොඳ උදාහරණයක්.

අනිත් අතට අප විසින් එදිනෙදා මුහුන දෙන ගැටළු මේ ආකාරයෙන් විසඳා ගනීමට හැකිනම් ඒක හිතට කොච්චර සහනයක්ද ? සමාජයට කෙතරම් යහපතක්ද ? ඒත් අවාසනාවකට අද නොවෙන්නේත් ඒ දේම තමා.

මාගේ මේ ලිපිය, නිහතමානී CITIZEN තුමාට උපහාරයක් වේවා !!


විශේෂ ස්තූතිය ;

1.උපුටා ගැනිමට අවසර ඉල්ලා දැමු හීයට, පැණයකුඳු නොනඟා, හැරෙන තැපෑලෙන් අනුමැතිය එවූ LankaCnews කතු තුමාට.

එහෙනම් හැමෝටම ජය !! ඊළඟ ලිපියෙන් හමුවෙමු.

පින්තූර :  Google images හා LankaCnews 

----------------------------------------------------------------------------------------------------------

පසු සටහන : කව්රු හරි පින්වතෙක්, මට කියලා දෙනවද, කොහොමද මාතෘකාව ටිකක් ලොකුවට දාන්නේ කියලා ? ස්තූතියි !

Thursday, December 8, 2011

පීටී සර්ගේ ගණිත පාඩම


උඳුවප් 08, 2011



ඔන්න එහෙනම් හා හා පුරා කියලා ලියන්ඩයි හදන්නේ....බ්ලොග් එක ආරම්භ කරද්දිනම් හිතාගන හිටියේ ආ ගිය කථා නැතුව වෙන මොනවා හරි දෙයක් කරන්ඩ කියලා. ඒත් දැනට එහෙම නව අදහසක් හිතට එන පාටක් නැහැ. ඒක හින්දා වේලීමෙන් මිදෙන්ඩ මේකෙන්වත් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුනා.

මේ කථාව මට මතක් උනේ සඳරුගේ හිස් අහස පැත්තෙ රව්මක් ගහගන ඉන්නකොට, පැනියා සර්ට වෙච්ච අලකලන්චිය දැකලා.

මේකත් පීටී සර් කෙනෙක් ගැන තමා, හැබැයි දෙබරුන්ගෙන් ගුටිකාපු කථාවක් නම් නෙමේ. වැල්වටාරම් නවත්වලා එහෙනම් අපි කථාවට යමු.

පීටී කාරයා.

මට දැනගන්ඩ ලැබිලා තිබුන හැටියට මෙයා හමුදාවේ ඉඳලා, කකුලට වෙඩි වැදීමක් නිසා අයින් වෙච්ච කෙනෙක්. ඕකෙ ඇත්ත නැත්ත දැන ගන්ඩ මට ක්‍රමයක් තිබුනේ නැහැ, ඒක නිසා මම ඒක විශ්වාස කලා. හැබැයි එක කකුලක පොඩි බකලයක් වගේත් තිබුනා. මෙතුමා ඉතින් උදේ හවහා ළමයින්ව පිට්ටනියට අරගන ගිහින් තමන්ට පැවරිලා තිබුන ගුරුකම කරගන හිටියා. මෙයා ටිකක් පාසලේ ඉහල පන්තිවල ළමයි අතරත්, විශේෂයෙන්ම ගෑනු ළමයි අතරත්, අනිත් තරුණ ගුරුවරු අතරත් ටිකක් ජනප්‍රියයි. අපි මෙයාට ජයසූරිය කියමුකො.

අපි දැන් එයාට එයාගෙ වැඩේ කරගන්ඩ ඉඩ දීලා, ගිහින් බලමු මෙයගෙ යාළුවා මොකද කරන්නෙ කියලා.


ගනන් කාරයා

මෙයා වැසිකිලි ගිහිල්ලා පිට කරන්නෙත් ඉලක්කම් කියලා තමා ඒ දවස්වල ඉස්කෝලේ හිටපු නොහොබිනා කොල්ලො කථා වුනේ. මෙයාට ඉතින් මුළු ජීවිතේම ගනන් තමා. හැම තිස්සෙම කියන්නෙත් ගනන් ඉඟන ගනිල්ලා, වෙන මොනවත් කරන්ඩ එපා වගේ දෙයක් තමා. එච්චර පිලිවළකට ඇන්දේ කෙරුවේ එහෙම නැහැ. කුම්මැහියෙක් කියලත් කියනවා. හැබයි ඉස්කෝලෙදි හරියට උගන්නන්නෑ, ඒවා ඕනනම් ගෙදර පන්තියට යන්ඩ ඕනා. හැම තිස්සෙම අනිත් විෂයන් දෙකේ කොලේට දාලා තමා කථාව. විශේෂයෙන් පීටී. ඕක හින්දා පීටී සර් සහ මෙයා අතර සීතල යුද්ධයක් තිබුනා. හැබැයි, මූනට හම්බුනාම කරට අතදාගන කතාව.

ගණිත පාඩම

ඔන්න එදා අපිට හිස් පීරියඩ් එකක්, මොකද අදාල ගුරුතුමා ඇබ්සන්ට්. පීටී සර්රුත් ඉතින් වැඩක් නැති වෙලාවට ඔය වගේ පන්තියකට රිංගලා කට්ටිය උළු හොල්ලන එක නතර කරගන ඉන්නවා.

"මොකක්ද දැන් තියන පීරියඩ් එක "  පීටී සර් අපේ පන්තියේ මේසෙ කොනකට බර වෙන ගමන් ඇහුවා.


"විද්‍යාව සර් "

" කෝ අද ටීචර් නැද්ද ? "

" නැහැ සර් " මොනිටරයා උත්තර දෙනවා..

ඉතින් ටිකවෙලාවක් පීටී සර් අනං මනං කථා කර කරහිටියා. අපිටත් ඉතින් මේ වැඩේ හරි ජොලි. ඊට පස්සෙ තමා පීටී සර් ගනන් පාඩම පටන් ගත්තෙ.

"උඹ්ලට මම දැන් එක අවවාදයක් දෙන්නම්, මොනවා ඉගන ගත්තේ නැති උනත් කමක් නැහැ ගනන් ඉගන ගනිල්ලා. ගනන් පාස් වෙයල්ලා " පීටී සර් සරදම් හිනාවක් එක්ක කිව්වා. අපිටත් ඉතින් දෙන්නගෙ කෝන්තරේ දන්න හින්දා මෙයා මේ ගහන්නෙ හින්ට් එකක් කියලා තේරුනා. අපිත් ඉතින් ඔලොක්කුවට වගේ අවලන් හිනාවක් දැම්මා.

" ඇයි උඹලා හිනා වෙන්නෙ, මම මෙ විහිළුවක් නෙමේ කරන්නේ"

"දැන් බලපල්ලා, මේ ඉඩම් කට්ටි වෙලා ගෙවල් හැදීගන යන විදිහට, අනාගතයේදී උඹලා විභාග ෆේල් වෙලා පොල් කඩන රස්සාව කෙරුවත් උඹලට ගනන් ඕනා. ඇයි, අල්ලපු ගෙදර මිනිහගෙ උළු ටික බිදින්නැතුව ගානට සරල රේඛාවක් දිගේ ගහ මුලටම ගෙඩිය අතාරින්ඩ උඹ්ලට ගනන් ඕනා. නැත්නම් ඉතින් අල්ලපු ගෙදර මිනිහා වලියට එනවා, ඊලඟ මුරේ ඉඳලා උඹලට වැඩ නැහැ. ඒක හින්දා පීටී නොකලට, අනිත්වා නොකලට කමක් නැහැ ගනන් ඉගන ගනිල්ලා " ඔහොම කියපු පීටී සර් මහ හයියෙන් හිනා උනා.

ඔන්න ඕක තමයි ඉතින් පීටී සර්ගෙ ගනන් පාඩම. ගනන් සර්ගෙන් ඉගන ගත්තු, ත්‍රිකෝණයක කෝන තුනේ එකතුව ඔන්න ඔය කීයකටද මන්දා සමානයි කියනවට වඩා,  ඒක කොච්චර යථාර්ථවාදිද කියලා මට අද හිතෙනවා.

අදට ඔය ඇති. පස්සෙ හම්බෙමු. කියවලා බලලා අඩුපාඩුවක් දැක්කොත් හදයි කියලා බලාපොරොත්තු වෙනවා. ගල්, මුල්, මල්, අපහාස, උපහාස, සරදම්, සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාකරන සහ අක්ෂර වින්‍යාස දෝශ හැදුවොත් පින්.

ලියන්ඩ දෙයක් නැතුව වේලි, වේලි ඉද්දි කථාව මතක් කරලා දීපු, සඳරුටයි, පැණියා සර්ටයි, ස්තූතියි.

පින්තූරය :  google images.


Sunday, December 4, 2011

ආයුබෝවන් !!!

උඳුවප් 03, 2011

අද තුන.

තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.

ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.

පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. සමහර විට මේකත් තවත් එක FM නාලිකාවක් වගේ වෙන්ඩ පුළුවන්.

දැනට අදහසක් නැහැ අඩු ගානෙ මොනවගේ දේවල්ද ලිවිය යුත්තේවත් කියලා.....

බලමු,

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog