Wednesday, May 10, 2017

බෝතලේ විත්ති | සරුංගල් යැවීම

කලින් පළවූ බෝතලේ කතා






"හ්ම් හ්ම්...මම යනවා රෑනගල, කවුද එන්නේ?" කියාගෙන සීයා නැගිට්ටේ ළඟ තිබුණ පඩික්කම උස්සලා කට ළඟට අරන් ඒකට බුලත් කෙළ පාරක් විදින ගමන්.

"යං යං මාත් එනවා..." මම එක පයින් ලෑස්තියි. ඒක ඇහුවට පස්සේ මට ජාතියේ පියාවත් අමතක වුණා. එයාව මතක තියන් හිටියත් දැන් ඉතින් මේ ඉක්මනට වැඩක් ඇතැයි! එයාගෙන් ප්‍රයෝජනයක් ගන්නනම් ඉතින් ඉස්කෝලේ පටන් ගන්නකම් ඉන්න වෙනවා. එතකම් ඔහෙ බිත්තියේ එල්ලිලා හිටපුවාවේ. අයියත් කියව කියව හිටපු සඟරාව පැත්තකින් තියලා කඩිමුඩියේ නැගිට්ටේ රෑනගල යන්න තමා.

අපේ උනන්දුව දැකලා රෑනගල කියන්නේ තව්තිසා දිව්‍යලෝකය වගේ තැනක් කියලා එහෙම හිතා නොගත්තට කාරියක් නෑ ඕන්. ඒක නිකන්ම නිකන් පොල් වත්තක් විතරයි. එකම වෙනස මේ පොල්වත්ත තියෙන්නෙ ලොකු බෑවුමක. වෙන විදිහකට කිව්වොත් සීයලෑ ඉඩමම තවත් එහාට දික්වෙලා තමා රෑනගල හැදිලා තිබුණේ. කැඩිලා බිමටම පාත්වෙලා තිබුණ සීයලෑ කබල් කම්බි වැටෙන් පනින්නේ රෑනගලට. රෑනගල තමා සියලෑ හරක් ඔක්කොම දවල් කාලෙට ගැට ගහන්නේ. සීයා දවසට දෙපාරක් විතර රෑනගල යනවා උන්ගෙ ගස් මාරු කරන්න. රෑනගල උඩම හරියට වෙන්න තිබුණා අපේ උසට විතර උසකට වැවිලා තිබුණ සීනි පේර යායක්. ඔන්න ඕක තමා අපිව රෑනගලට ඇද්ද ගන්න හාස්කම! ගියාම සාක්කු පුරෝගෙන තමා එන්නෙ. තව අවුරුදු කාලෙට කජු පුහුලම් පිරුණ කජු ගස් මේ පොල්වත්ත පුරා හැම තැනම තියනවා. ඇයි අඹ ! ඒ විතරක් නෙමේ දවල් වේලට ගො‍ටුකොළ ටිකක් කඩා ගන්න ඕන වුණත්, දරට වේලිච්ච පොල් අත්තක්, හනස්සක් අහුල ගන්න ඕනා වුනත්, නැන්දා හරි කිරිඅම්මා හරි එන්නෙත් රෑනගලටම තමා. ලස්සන හැම දෙයක්ම භයානකයි කියලා කවුදෝ කියනව මම අහලා තියනවා. ආයෙ ඉතින් රෑනගලත් ඕකෙන් වෙනස් වුණේ නෑ. එහෙ තියනව අත් ඇරලා දාපු පරණ මිනිරන් පතල්. බොහොම භයානක, ගැඹුරු ඒවා. ඔන්න ඔය හේතුව නිසාම අපිට තනියම රෑනගල යන්න තහංචියක් එහෙමත් පැනවිලා තිබුණේ. මේ පතල් වලට වැටිලා හරක් එහෙමත් මැරිලා තියනවා. සමහර ඒවායින් ගෑස් හිටන් පිට වෙනවා. ළඟට ගියාම ගඳක් එනවා. සමහර දවස්වල අපි ඔය පතල්වලට කළු ගලක් එහෙම අතෑරලා අහගෙන ඉන්නවා. ගල ඩොක්හ් ගාල අඩියෙ වදින්න සෑහෙන වෙලාවක් යනවා, එහෙම නැත්නම් ඇහෙන්නෙම නෑ. හිතාගත්තෑකිනේ ගැඹුර !

දානෙට වඩින හාමුදුරු පෝලිමක් වගේ සීයයි, අයියයි, මමයි සියලෑ ගෙදර ඉඳන් රෑනගලට වැටිලා තියන ප‍ටු අඩිපාර දිගේ යනවා. කැත්තක් අතින් ගත්තු සීයා ඉස්සරහින්ම යනවා. අයියා, සීයා පිටිපස්සෙන්, මම අන්තිමට. සියලෑ වත්තෙ මේ හරිය හරිම හෙවනයි. බොරළු පොළව අතරින් පතර කළු ගල්. සෙරප්පු නැතිව බොරළු ගල් උඩ ඇවිදින එක තරු පේන වැඩක්. සීයටනම් ගානක්වත් නෑ වගේ, අයියටත් ඒ වගේ. මටනම් අහසෙ තියන ඔක්කොම තරු පෙනුණා. සෙරප්පු දෙක ගේන්න බැරිවෙච්චි එකේ විපාකෙ. ඒක හින්දා මම ඇඟිලි වලින් පැන පැන ගිහින් කළුගල් තලාවක් හම්බුණ ගමන් ඒක උඩට පැන ගන්නවා. එතකොට කකුලට දැන්නෙනෙ පුදුම සනීපයක්. කළු ගලෙන් බැස්සට පස්සෙ ආයෙත් ඇඟිලි වලින් පැන පැන යනවා. බලන් ඉන්න කාට උණත් මම නට නට බොහොම සන්‍තෝසෙන් යනවා කියලා හිතෙන්න පුළුවන්.ඔය මොන නැ‍ටුම් නැ‍ටුවත් මගේ අතේ තියන යකඩමරං කෝ‍ටුවෙන් පුළුවන් හැමවෙලේකම දෙපැත්තෙම තියන පදුරු වලට යහමින් දෙකක් තලන්නත් අමතක කළේ නෑ. කෝ‍ටුවක් අතේ තියේනම් ඒකෙන් කාටහරි ගැහුවේ නැත්නම් කිසි ගතියක් නෑ.

පෙරහැර අන්තිමට රෑනගලට ආවා. සීයා මුලින්ම ගියා ළඟම හිටපු වැස්සි ගාවට. බිම ලැගලා වමාරා කමින් හිටපු ඌ බෙල්ල උස්සලා බලලා සීයව අඳුනගෙනද කොහෙද කන්දෙක වනලා, ඔළුව දෙපැත්තට එහෙම ගසලා ඉස්සරහා කකුල් දෙකට බර දිලා නැගිට්ටා. ඌ දන්නවා ස්ථාන මාරුවක් ලැබෙන්න යන්නේ කියලා. මේ සත්තු පුදුම විදිහට මේ රටාවට හුරු වෙලා. බලන්න එපෑයෑ හවස්ට ලිහලා දාපුවාම වෙන කොහෙවත් නොගිහින් කෙළින්ම සීයලෑ ගෙදරට යන හැටි. වැස්සිව ගහෙන් ලිහා ගත්තු සීයා තණකොළ තියන වෙන තැනකට ඌව අරන් ගිහින් ගැට ගැහුවා. ඔය විදිහට දහ දොළොස් වතාවක් කරන්න වුණා ඔක්කොම සත්තු ටිකේ ගස් මාරු කරන්න. අපිත් සීයා පස්සෙන් ගහෙන් ගහට ගියා ඒ එක්කම. ඒක ලේසි වැඩක් වුණේ නෑ. සෑහෙන ඉහළ පහළ නගින්න බහින්න වුණා. පතල් තියන කිට්‍ටුවකට යන හැම වෙලේකම "ඔය පැත්තට යන්න එපා" කියලා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න සීයා අමතක කළේ නෑ.  අපි බලන් ඉන්නේ මේක ඉවරවෙලා සීනි පේර යායට යනකම්.

සීනි පේර අවාරෙද මංදා අපි බලාපොරොත්තු වුණ තරම් පේර කඩාගන්න හම්බුනේ නෑ. සීයට තව වැඩ තියන නිසාද කොහෙද වැඩි වෙලා එතන ‍රැදෙන්න කැමති වුණේත් නෑ. ඔය වගේ වැඩවලට එන්න ඕනා නැන්දා එක්ක. පෙරහැර ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. අතරමගදි වැටිලා තිබුණ පොල්ගෙඩියක් සීයගෙ කැත්තෙ ඇමිණුනා.

අපි ගෙදර එනකොට කඩේ අයියා, සීයලෑ ගෙදර ඇවිත් හිටියා. අපිව දැකපු එයා කට පුරා හිනාවුණා. එයා කඩේ අයියා වුණේ ගමට තිබුණ එකම කඩේ එයාලගෙ නිසා තමා. ඒ ගෙදර තව අයියා කෙනෙක් හිටියට මෙයා විතරක් කඩේ අයියා වුණේ කොහොමද කියන එක මම දන්නේ නෑ. එයාලෑ කඩේ තිබුණේ අර විශාල පඩි පෙළ පටන් ගන්න තැන ඉඳන් තව ටිකක් පාරෙ උඩහට ගියාම. සීයා වෙන වැඩකට ගියා. අපි කඩේ අයියත් එක්ක කයියට එකතු වුණා.

"ආවා කියලා ආරංචි වුණා. ඒකයි ආවේ."

"ඔව්..අපි ඊයේ ආවේ.." උත්තර දුන්නේ අයියා.

අපි කතා කර කර ඉස්සරහාට ආවා. අයියයි කඩේ අයියයි ගේ ඉස්සරහා තිබුණු විශාල කළු ගල උඩ දෙපැත්තෙන් වාඩි වුණා. මම ළඟ තිබුණු පතොක් ගහක් කූරු ගහන්න ගත්තා. ගිය පාර නිවාඩුව ආපු වෙලේ කොටපු නම ලස්සනට මෝරලා උඩට මතුවෙලා තියනවා දැකලා මම පුදුම වුණා.

"ආව් අප්පා මේ බලන්නකෝ.. නම අපූරුවට මතු වෙලා." කඩේ අයියා, ඒක මහලොකු අමුත්තක් නෙමේ කියන විදිහේ හිනාවක් හිනා වුණා.

"එහෙම තමයි, පතොක් කොළවල මොනවා හරි ලියුවම මෝරනකොට ඔයවගේ මතු වෙනවා." කෝ‍ටු කෑල්ලක් කඩා ගත්තු මම අලුතෙන් නමයි, ඉස්කෝලෙයි, පන්තියයි කුරු‍ටු ගෑවා.

"මම ආවේ බට ගහක් කපාගන්න යන්නත් එක්ක. යමුද උඩහට?" කඩේ අයියා කිව්වේ අයියට.

"ඒ මොකට ද බට?"

"සරුංගලයක් හදන්න."

"නෑහ් මරුණෙ." ඒත් කොහෙද යවන්නේ? මෙහෙ පිට්ටනියක්වත් තියනව ද?"

"රෑනගල පුළුවන්."

"රෑනගල! එහෙ කොහොමද සරුංගල් යවන්නෙ? හැම තැනම බෑවුමනෙ? කොහොම ද නග්ග ගන්නේ?"

"නෑනෙ උඩහා කොටහා හෙණ තැන්නනෙ. ඔය සීනි පේර යායට උඩහින් මම කිව්වේ. අනිත් එක එතන හොඳට හුළං තියනවා. ඔයගොල්ලන්ගෙ පැත්තෙ වගේ සරුංගලේ අරන් දුවන්න ඕනා නෑ සරුංගලේ නග්ගන්න."

"එහෙනම් ජාතිනෙ. හදමු හදමු..." මම උඩ පැන්නා..

"කොහෙද ඒ ගමන් තුන්දෙනත් එක්ක යන්නේ" කිරිඅම්මා කෑ ගහලා ඇහුවේ අපි කුස්සියෙන් පිහියක් අරගෙන එළියට පනිනකොටම වගේ.

"අපි උඩහා යන්නේ කිරිඅම්මේ.. බට ගහක් කපන්න." උත්තර දුන්නේ කඩේ අයියා.

"කඩේ පුතේ.. මල්ලිලා දෙන්නව බලාගන්න. ඔහෙ සරපයොත් ඇති." අපි ඒකට උත්තර දෙන්න ගියේ නෑ. කිරිඅම්මත් උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ මයෙ හිතේ.

හරක් ගාලා ගාවින් උඩට නැග්ග අපි තුන්දෙනා බට පඳුරක් හොයාගෙන ගියා. මේ හරිය සෑහෙන කැලෑවක්. අව්ව නොවැටෙන තරමටම ගස්වලින් වැහිලා. රස්නයක් ඇත්තෙම නැති තරම්. කලින් රබර් හිටවලා අතෑරලා දාලා කියලා පේන්ඩ තියනවා. තැනින් තැන තිබුණ කේඩෑරි රබර් ගස් ඒකට සක්කි. ගොරකා ගහක් ගව නැවතුණු කඩේ අයියා බිම වැටිලා තිබුණු ගොරක ගෙඩියක් අහුලගෙන පළලා මදේ අපිට දුන්නා. මම ඒ ගොරක මද කෑවමද කොහෙද. මාර රසක් ඒකෙ තියෙන්නෙ.

මෙහෙත් අනික් හැම තැනම වගේ කළු ගල් තමා. තැනින් තැන උඩට මතු වෙච්ච කළු ගල් අඩියෙන් අඩියට. අපි ආවා හරහට බැඳලා තිබුණු කළුගල් බැම්මක් ළඟට. එතන අතෑරලා දාපු පරණ ගේක අත්තිවාරම විතරක් ඉතුරු වෙලා තිබුණා. ඒ සීයලෑ කලින් ගේලු. බට පඳුර තිබුණේ ඒ කිට්‍ටුව. මම අහලා තිබුණේ බට පඳුරු තිබුණේ සාමාන්‍යයෙන් ගං ඉවුරු වල හරි වතුරට කිට්‍ටුව කියලා. ඒත් මේ පතුර පොදක් නැති කන්දක් උඩ බට පඳුරක් ! හරි පුදුමයි !

ගානට මෝරලා තිබුණු අඟලක් විතර මහත බට ගස් දෙකක් ‍තෝර ගත්තු කඩේ අයියා ඒවා මුලින්ම කපලා ඇදලා ගත්තා. ඒ ඇදිල්ලට අපිටත් එක් වෙන්න වුණේ උඩින් තිබුණ පටලැවිලි නිසා ඒවා තනියම ඇදලා ගන්න ඒක ලේසි පාසු වුණේ නැති හින්දා. ගස් දෙකම එළියට ඇද ගත්තට පස්සේ, කඩේ අයියා දෙපැත්තට බෙදිලා තිබුණු සිහින් අතු පිහියෙන් ‍රැහැලා දැම්මා. එකක් අඩි හයක් විතර දික්වුණු මේ බට ගස් දෙක අපේ වැඩේට ඕනෑවටත් වැඩියි.

ගෙදර ආපු අපි කෙළින්ම වැඩේට බැස්සා. කඩේ අයියා වැඩේට බොහොම දක්ෂ බව පෙනුණා. හීනි දිග බට පතුරු දෙකක් ‍රැහ ගත්තු කඩේ අයියා කුරුසයක් හැඩේට ඒ දෙක ගැට ගහලා තමා වැඩේ පටන් ගත්තේ. ඒයා හදන්න යන්නේ වව්ලෙක් කියලා මට තේරුණා. ඒක අඩි හතරක් විතර උසට හැදුණු අපූරු සරුංගලයක් වුණා. කඩේ අයියා දුවලා ගිහින් ඒ ගොල්ලන්ගෙ කඩෙන්ම ගෙනාපු සව්කොළ වලින් සැරසුවාම සරුංගලේ අපි හිතුවට වැඩිය බොහොම අලංකාර වුණා. හැබැයි පොඩි පරහක් තිබුණා. ඒ නූල් නැති කම. කඩේ අයියලෑ කඩේ නයිලෝන් නූල් තිබුනේ නෑ. ගන්නනම් මීරිගමටම යන්න වෙනවා.

"නැන්දට කිව්වොත්නම් ගෙන්න ගත්තෑකි."

"එහෙම වුණොත් ඉතින් හෙටත් බෑ අනිද්දා තමා යවන්න වෙන්නේ."

"කරන්න දෙයක් නෑ නේහ්! අපි එහෙම කරමු. තව දවස් දෙකක් ඉවසමු." කඩේ අයියා එහෙම කිව්වට මටනම් සරුංගලේ යවනකම් තිබුණේ පුදුම නොයිවසිල්ලක්.

එදා සෙනසුරාදා උදේ. ඊයේ නූල් පන්දුව හම්බුණු වේලේ ඉඳන් මේ වෙලාව එනකම් මට තිබුණෙ පුදුම දඩිබිඩියක්. මම හතර පස් වතාවක්වත් සරුංගලේ ගාවට ගිහින් බලන්න ඇති. සේරියා නුලෙන් එල්ලිලා පැද්දි පැද්දි, දෙපැත්තෙ ‍රැළි වන වන එයා හිටියේ අහසට විදින්න ලෑසිති කරලා තිබුණු රොකට් එකක් ඉන්නවා තරම් ආඩම්බරෙන්. අපි හිතුවටත් වැඩිය ලොකු නූල් පන්දුවක් නැන්දා ගෙනත් තිබුණා. ඒකෙන් මෙයාව තිත් කරන්න පුළුවන්. ආයෙ දෙකක් නෑ. මොකෝ කඩේ අයියා තාම පරක්කු ! අයියයි මමයි කාලා බීලා ලෑස්ති වෙලත් දැන් සෑහෙන වෙලාවක්. සීයා ‍රැනගල යන්න එනවද කියලා ඇහුවට අද සීයත් එක්ක රෑනගල යන්න ආසාවක් අපිට තිබුණේ නෑ.

"පොඩ්ඩක් පරක්කු වුණා. කඩේට හිර වුණානේ" කියාගෙන කඩේ අයියා හති දදා පඩි පෙළෙන් මතු වුණේ ඔය අස්සෙ තමා. එයා හති දාන දැමිල්ලෙන් පඩි පෙළේ දුවගෙන ඇවිත් කියලා හිතා ගන්න පුළුවන්.

"යමු එහෙනම්" කියලා ගෙට දුවගෙන ගිය මම සරුංගලේ එල්ලලා තිබුණ තැනින් ගලවගෙන ආවා.

"නැන්දේ ඒ ඒ ඒ .... අපි රෑනගල යනෝ ඕ ඕ ඕ......" කියලා කෑ ගැහුවේ කඩේ අයියමයි.

"කඩේ ළමයෝ මල්ලිලා දෙන්නව බලාගෙන. පතල් පැත්තට එහෙම යන්නෑ.."

" නැ නෑ අපි උඩහට යන්නේ සරුංගල් අරින්න.."



සරුංගලේ ගෙනියන වැඩේ කඩේ අයියම භාර ගත්තා. එයා පුරුදු කාරයා හින්දා. අපි ඔය කඳු, ගල් අස්සේ සරුංගලෙත් එක්කම ඇදගෙන වැ‍ටුනොත් ඔක්කොම හබක් ! අපි විනාඩි පහළොවක් විස්සක් විතර හීනි අඩි පාරවල් අස්සෙන්, කලු ගල් උඩින්, කැලෑ ඇතුළෙන් බඩ ගාලා රෑනගල උඩම කොටසෙන් මතු වුණා. මම මීට කලින් කවදාවත් මේ හරියට ඇවිල්ලා තිබුණ බවක් මට මතක නෑ. මේ හරිය රෑනගල අනිත් පැති වගේ බෑවුම නෑ. තැන්න. මෙහෙ පොල් ගස් එහෙම තිබුණෙත් නෑ. අනිත් හැම තැනකම වගේ මෙහෙත් පොළවෙන් මතු වුණ කළුගල් වලින් නම් අඩුවක් තිබුණෙ නෑ. කලු ගල් නැති හැම තැනකම වගේ පොළව වහගෙන තිබුණෙ බොහොම සනීපදායක තණකොළ වලින්. ඒක හින්දා තැනින් තැන තණකොළ කකා හිටිය හරක්ගෙන් අඩුවක් වුණෙත් නෑ. ඒ එකෙක්වත් සීයලෑ උන් නම් නෙමේ කියලා දැන් මට කිව්වෑකි.

අපි එනකොට තව තුන්දෙනෙක් එතන හිටියා සරුංගලයක් එක්ක. බැලූ බැල්මට කියන්න පුළුවනේ ඒ අය අපිට වැඩිය ලොකු අය කියලා. ඒ කට්ටියව දැකපු කඩේ අයියගෙ මූණ ඇද වුණා. ඒගොල්ලන්ව දකින්න කඩේ අයියා එච්චර සතු‍ටුවුණේ නෑ කියලා අපි දෙන්නටම තරුණා.

"අපෝ..විමලසිරියා..." කඩේ අයියා අපිට විතරක් ඇහෙන්නයි කෙදිරුවේ.

"ඇයි මිනිහා ප්‍රශ්නයක් ද?"

"ඔය යකා නාහෙට අහන්නැති චණ්ඩියෙක්. වැඩි කතා වලට යන්න එපා."

"අපිව අදුනන්නෑනෙ. ඒක හින්දා කතාවට එන එකක් නෑ."

"ඔය යකාට අදුනන්න ඕනා නෑ."

විමලසිරි කියපු කෙනා තවත් දෙන්නෙක් එක්ක සරුංගලයක් යවන්න මාර විදිහට ඔට්‍ටු වෙවී හිටියේ. ඒක මොණරෙක්. කොච්චර දැගලුවත් ඒක හරියට උඩ ගියේ නෑ. පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඤොක්හ් ගාලා හොට බිම ඇනුණා. සරුංගලේ ගාවට දුවලා ගිය විමලසිරි ඒක අතර අරන් එක පැත්තක ‍රැළි කඩලා සේරියා නූලෙන් උස්සලා බැලන්ස් කරනවා අපි බලාගෙන. අනුන්ගෙ සරුංගල් ගැන වද වෙන එක අතෑරල අපි, අපි ආපු වැඩෙට බැස්සා. නූල් පන්දුව එළියට ගත්තු කඩේ අයියා එකේ කොන සේරියා නූලෙ හරිම තැනින් ගැට ගැහුවා. ඊට පස්සේ නූලෙන් උස්සලා බැලන්ස් බැලුවා. සරුංගලේ ආපු හුළගින් වරල් ගගහා උඩ යන්න පොර බද බද හිටියේ. මෙතන සරුංගල් යවන්න කියාපු තැන . ඒ තරමට හුළං. කඩේ අයියා හරි. අපේ පැත්තෙදි කරනවා වගේ සරුංගලේ අරන් ටික දුරක් දුවන්න ඕනා නෑ නග්ගන්න. සරුංගලේ උඩට කරලා අල්ලපු කඩේ අයියා ටික ටික නූල නිදහස් කළා. අපේ බලාපොරොත්තු කඩ නොකර එයා ටික ටික උඩ ගියේ දවස් දෙකක් හිර කරන් හිටපු එකට නෝක්කාඩු කියන්න වගේ හොඳටම ‍රැළි ගහ ගහ. ඒක හරි අපූරු සරුංගලයක්. කිසිම කූරියා ගැහිල්ලක් නැතුව කෙළින්ම උඩටම උඩටම උඩටම එයා ගියා. සරුංගලේ අන්තිමට අපිට පෙනුණෙ බොහොම පොඩියට. සරුංගල් භාෂාවෙන් කිව්වොත් එයා "තිත්" වෙලා. ටිකක් වෙලා නූල තියන් හිටපු කඩේ අයියා අපේ අයියට දුන්නා. ඊට පස්සෙ මම. ඔය විදිහට අපි වට කීපයක්ම මාරුවෙන් මරුවට සරුංගලේ ඇරියා.සරුංගලේ පහතට එනකොට නූල ටිකක් එක දිගට ඇද්දම එයා ආපහු ආපහු උඩට නගින්නේ කියන දේ අහන දරුවෙක් වගේ. ඉඳලා හිටලා අපි පොඩි නෙත්තියක් ඇරියම එයා පොඩි නැටිල්ලක් නටලා පෙන්නුවා. ඊට පස්සේ ළඟ තිබුණු පඳුරක සරුංගලේ නූල ගැට ගහපු අපි තුන්දෙනා ඒ ළඟින්ම වාඩි වෙලා සරුංගලේ දිහා බලාගෙන හිටියා. කඩේ අයියා ගෙනත් තිබුණ සව් කොළ ‍රැල්ලක් නූලෙ ගැන ගහලා පොඩ්ඩක් නූල ගැස්සුවම ඒක ටික ටික නූල දිගේ උඩට නගින්න ගත්තා. ඒකත් මරු වැඩේ. අපිට ඒ විදිහට ඕන්නම් සරුංගලේට පණිවිඩයක් හරි යවන්න තිබුණා. 

විමලසිරියි එයාගෙ යාළුවො දෙන්නයි සරුංගලේ උඩට ගත්තේ බොහොම දගලලා. ඒක මහ කමකට නැති සරුංගලයක්. හරියට හැදුවේ නැති වුණාම ඔහොම වෙනවා. ඒ ගොල්ලන්ගේ සරුංගලේ කූරිය නොගහා තියාගන්න ඒ ගොල්ලො මාර වෙහෙසක් ගත්තා. ඒක බොහෝවෙලාවට උඩට යනවට වැඩිය එක තැන කැරකුණා. ඔය විදිහට ඒගොල්ලො අකීකරු පුත්‍රයත් එක්ක හරියට ඔට්‍ටු වුණා. ඒක අපේ එක ගියායින් භාගයක්වත් උඩ ගිහින් නෑ. බොහොම පැහැදිලව සරුංගලේ ‍රැලි හිටන් අපිට පෙනුණා. ඔය අතරෙ තමා විමලසිරි එයාගෙ සරුංගලේ නූල යාළුවෙකුට දීල අපේ පැත්තට ආවේ.

"හොඳට උඩ ගියා නේද ? මමත් ටිකක් අරන් බලන්න ද?" ඒ විමලසිරි. කඩේ අයියා අපි දිහා බැලුවා මිසක් මුකුත් කිව්වේ නෑ. විමලසිරි බලෙන්ම වගේ පඳුරේ ගැට ගහලා තිබුණ නූල උඩින් අල්ලගෙන සරුංගලේට විධාන දෙන්න ගත්තා. කඩේ අයියා මුකුත්ම නොකියන එකෙන් එයත් විමලසිරිට කොච්චර බයද කියලා තේරුණා.

"අපේ එකත් මරු සරුංගලේ අද හුළඟ ටිකක් හරි මදි වගේ. ඊයේ අපි ඇරියා තිත් වෙන්න." විමලසිරි බලෙන්ම එයාගේ පම්පෝරිය ගහනවා. අපි හූමිටිවත් නොතියා අහගෙන ඉන්නවා. අපිට තිබුණ බය මේ යකා මේක ආයෙ අපිට නොදෙයි ද කියන එක. ටික වෙලාවක් අපේ සරුංගලේ එල්ලිලා හිටපු විමලසිරි ආපහු ඒ ගොල්ලන්ගෙ සරුංගලේ ගාවට ගියා. අපි තුන්දෙනාම සැනසුම් සුසුම් දැම්මේ එකටම වගේ. මෙතන වැඩි වෙලා ඉන්න එක එච්චර සුබ්දායක නැති බව තේරුණ හින්දා අපි සරුංගලේ බාගන්න පටන් ගත්තා.

හඳට ගිහින් ආපු නීල් ආම්ස්ට්‍රෝං වගේ අඩම්බරෙන් සරුංගලේ අපේ අතට ආවා. විමලසිරිලෑ කට්ටිය ක‍ටුකු‍ටු ගානවා දැක්කත් අපි එච්චර ඒක ගණන් ගත්තේ නෑ. සරුංගලේ අතට අරන් අපි පිටත් වෙන්න යනකොටම;

"මල්ලිලා පොඩ්ඩක් ඔහොම ඉන්නවලා.." කියලා විමලසිරි කෑ ගහනවා අපිට ඇහුණා. මොකක් හරි නරකක් වෙන්න යන බවනම් අපි තුන්දෙනාටම ඉවෙන් වගේ දැනුණා. අපේ ළඟට ආපු විමලසිරි කොහෙන්ද ඇදලා ගත්තු රුපියල් පහක් දික් කරලා කිව්වා "මම ඔය සරුංගලේ ගන්නවා" කියලා.

"ගන්න අපි විකුණන්නෑනෙ." මම කිව්වා නෙමේ කියවුණා. කඩේ අයියා බය වෙලා වගේ මම දිහා බලනවත්, විමලසිරි මම දිහා බලලා ඔරවනවත් සිද්ධ වුණේ එකටම වගේ.

"මේකනම් දෙන්න බෑ විමලසිරි, අපි ඕන්නම් ඔයාට මේ වගේ වෙන එකක් හදලා දෙන්නම්." කඩේ අයියා කිව්වා.

"මට වෙන ඒවා ඕනා නෑ. මගෙ හිත වෙනස් වෙන්න කලින් මේ රුපියල් පහ අරගෙන මට ඕක දෙනවා. නැත්නම් අන්තිමට උඹලට සල්ලිත් නැතිවෙන්න පුළුවන්."

"හහ් එහෙම කොහොමද තමුසෙ එහෙම ගන්නෙ. යකෝ මෙක මාර වැඩක්නෙ. පුළුවන්නම් අරගෙන බලනවා." හිතන ඒවා ඇහෙන්නැති එක කොච්චර ලොකු දෙයක් ද ? නැත්නම් සමහර විට මම මිනිරක් පතලක් යට ඉන්න තිබුණා. කඩේ අයියා මූණ ඈඹුල් කරගෙන සේරියා නූලෙන් නුල් පංදුව ගලවලා විමලසිරිට සරුංගලේ දෙනවා අපි දෙන්නා බලන් හිටියේ බොහොම දුකෙන්. අපි රුපියල් පහත් අරගෙන නුල් පන්දුව විතරක් අතේ ඇතුව ආපහු එන්න පිටත් වුණේ අපේ සරුංගලේ බලෙන් මිලට අරන් උජාරුවෙන් යන විමලසිරියා දිහා දත්මිටි කකා ටිකක් වෙලා බලන් ඉඳලා. ඒ මොහොත ඇතුළත මම කීපාරක් විමලසිරියට හිතෙන් බිම පෙරලගෙන ගැහුවද කියලා මටවත් මතක නෑ. මට ඒතරම් කේන්තියි. ඒත් ඉතින් මොනවා කියලා කරන්න ද ?

" කමක් නෑහ්.. මම ආයෙ එකක් හදන්නම් ඔයිට වැඩිය හොඳට. මේ වෙච්ච දේ සීයලාට කියන්න ඕනා නෑ. ඇහුවොත් කඩන් ගියා කියමු." සීනි පේර පඳුරු අස්සෙන් පල්ලම් බහින ගමන් කඩේ අයියා කිව්වා.

ලියුවේ;
සෙන්නා / 10.05.2017

අන්තිමට බෝතලේ කතාවක් ලියලා තියෙන්නේ 2013 මැයි මාසෙ කියලා දැක්කේ මේක ලියන්න කලින් ඒක පොඩ්ඩක් බලන්න ගිය වෙලාවේ. මට මතක අද ඊයේ වගේ. ඒත් අවුරුදු හතරක් ගෙවිලා නොදැනිම. කාලය යන වේගෙ ! කිහිප වරක් බෝතලේ කතා ගැන මතක් කරපු රංගි හෙවත් බූරු බබාට විශේෂයෙන්ම ස්තූතියි.

27 comments:

  1. මගේ ළමා කාලය සිහි ගැන්වූ කතාවක්.. කියවගෙන මැදට එද්දියි දුටුවේ මේකත් මීරිගම අවටම සිදුවුණු දෙයක් යනවග. හිතට හරිම සතුටක් දැනුණා. හේතුව කතාව එක්කම මමත් මගේ ළමා කාලයේ මීරිගම මතකයත් එක්ක කතාව කියවාගන ඒම. මෙන්න අග හරියට වෙන්න මේ කතාවත් මීරිගම ආසන්නයේම එකක් වෙලා... මාරම මාරයි.. ස්තුතියි සෙන්නා. ලස්සනට ලියැවුණු අතිත කතාවක්.

    ReplyDelete
  2. ස්තූතියි නලින්. බෝතලේ කියන නම දැක්කම හිතුන්නැද්ද මිරීගම අවට කතාවක් කියලා.. මේ තියෙන්නෙ කලින් ලියවෙච්ච බෝතලේ කතා. කියවලා නැත්නම් කියවන්න...නලින් කැමති වෙයි. හුරු පුරුදු පැත්තක් හින්දා...

    බෝතලේ විත්ති | අලියා පිටේ කටුස්සා.....


    බෝතලේ විත්ති | ගමේ යාම.....


    බෝතලේ විත්ති | තවත් දවසක්...

    ReplyDelete
    Replies
    1. මේ ළගදිත් ගියා බෝතලේ පන්සල පාරේ තියන සේනානායක වලව්වට. කොල්ලෝ දෙන්නා අපේ ගජයෝනේ. උන් දෙන්නා විතරක් නෙමේ උන්ගේ මස්සිනා අමා ඌත් ගජයා. බෝතලේ පන්සල එක්ක අපේ තියන බැදිමත් හුගක්ම ඉහලයි. මොකද අපේ පන්සල පාලනය වෙන්නෙත් බෝතලේ ගෝඨාභය විහාරස්ථානයෙන්.

      Delete
    2. අපේ සීයලෑ ගෙවල් තියෙන්නෙත් ඔය පාරෙම තමා. මඩම ළඟ. ඔසු උයනක් එහෙම තියනවා ඒ කිට්ටුව...

      Delete
  3. ගමට බෝතලේ කියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. සාරස, ඕක කිය වෙන්න ඕනා "බෝ තලේ" කියලා. ඕක පිටි පස්සේ බෝතලේ රජමහා විහාරය හා බැඳුනු ඓතිහාසික කතාවක් තියනවා. කෙටියෙන් කිව්වොත් බෝ පැලයක් වෙන කොහාටද අරගෙන යන ගමන් කාන්ඩෙ රාත්‍රිය ගත කරන්න ඔය පන්සල තියන තැන නතර වුනාලු. රෑ එළිවෙනකොට බෝ පැලේ තලිය පලාගෙන පැලවෙලාලු. ඒක තමා අදටත් බෝතලේරජමහා විහාරයේ තියන බෝධිය කියලා කියන්නේ. තලිය පලාගෙන පැලවුන හින්දා බෝ තලේ කියලා කියනවාලු. ඉතිහාසය ගැන ගොඩක් දන්න කෙනෙක් ආවොත් සම්පූර්ණ විස්තරයක් හම්බෙයි.

      Delete
  4. Harima rasawath kathawa!Mawath apasu lama kalayata genichcha.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරත්...

      Delete
  5. ඩොට් වෙනවා කියන එකෙන් නේද "ඩොටේ" කියන වචනෙත් හැදිලා තියෙන්නේ. හෙන පිටිසර ඉන්න අයට කියන්නේ "මේකා ඉන්නේ ඩොටේ" කියලා.

    සරුංගලේ යවපු විදිහ විස්තර කරලා තියන හැටි නම් අපූරුයි. ලස්සන උපමා ටික

    ReplyDelete
    Replies
    1. ඩොට් වෙනවා කියලත් කියනව ද? අපිනම් කිව්වේ තිත් වෙන්න අරිනවා කියලා. ඩොටේ සන්ධි වුන හැටිනම් සයුරි ටීචර්ගෙන් තමා ඉගන ගත්තේ ඕන්... :D

      ස්තූතියි සයුරි...

      Delete
    2. "බෝ තලේ" කියන්නෙත් "ඩොටේ" ගමක් (ද)...

      Delete
    3. "බෝ තලේ' තියෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ මනෝජ්.

      Delete
  6. අහම්බෙන් අඹගහයටට ගොඩ වුනාටම සෙන්නා දැඛලා ක්ලික් කරද්දිම බෝතලේ දැකලා එක දිගටම කියවගෙන ආවා. මෙන්න බොලේ අන්තිමට මාව මතක් කරලත් එක්ක.
    කතාව කියවන් එද්දි මටත් මතක් වුනේ පොඩිම කාලේ අපි සරුංගල් යවපු විදිය. මතක විදියට අවුරුද්දට පස්සේ නිවාඩු කාලේ. මට නම් සරුංගල් තිබ්බේ නෑ වෙන්න ඕනේ. ඒත් කුඹුර අපේ හින්දා හැමෝම යවපු සරුංගල් අපේ වගේ තමයි. මම හිතන්නේ ඒ සරුංගල් හදන් ආව ලොකු අය මම පුංචි හින්දම මටත් අයිතිවාසිකම් කියන්න දුන්නා වෙන්න ඇති. තව දඩාර සයිස් හුලං පෙතිත් එයාලා හදලා කන්දේ උඩ හයි කලා ඒ කාලේම. රෑ එලිවෙනකම් හූ කියන සරුන්ගල්. අද වගේ නම් අපිට නඩුත් දාලා ශබ්ද දූෂණය කලා කියලා.
    බෝතලේ පැත්තේ පතල් තියෙනවා කියලා ඇහුවේ අදමයි. හරියට අපේ ගමේ කතාවක් කියෙව්වා වගේ. එහෙත් අඟලින් අඟලට පතල් වලවල් නේ.

    සෙන්නාට බොහෝම ස්තුතියි මේ ලෙඩවෙලා ඇඳටම හිර වෙලා ඉන්න මොහොතේ ආදරණීය නොස්ටැළ්ජික් කතාවක් ලියුවට.

    ReplyDelete
    Replies
    1. බූරු,
      ඇත්තටම මේ කතාව ලියවුනේ දෙතුන් වතාවක්ම ඔයා මතක් කරපු නිසා. නැත්නම් මම බෝතලේ කතා ලියන එක නවත්තලා තිබුනේ.. ඉතින් මේකෙ සම්පූර්ණ ගෟරවය ඔයාට.

      කතාව අතීත මතකයන් අවුස්සලා කියලා පේනවා.

      අසනීපෙ මොකක් වුනත් ඉක්මන් සුවය පතනවා !!

      ස්තූතියි ප්‍රතිචාරෙට.

      Delete
  7. නියමයි. බෝතලේ කතාවක් මදිවට චිත්‍රයකුත්! උඹත් කම්මැලිකමට රූල් කොලයක්ම ගත්තා ඒක අඳින්නත් නේද?

    ඔය පැත්තෙ පතල් තියෙන බව මම දැනගෙන හිටියෙ නෑ. එතකොට ඔය පතල් හාරන කාලෙ ගොඩ දාපු පසුත් ඇතිනෙ කඳු කඳු ගහපු. නැද්ද? අනික සෙන්නා ඔය දෝනා වලට ලී වලින් ලයිනිං ගහලනෙ සපෝට් කරලා තියෙන්නෙ. එතකොට දැන් මෙච්චර අවුරුදු ගානකට පස්සෙ ඒවා දිරලා පාත්වෙලා ඇතිනෙ එතකොට ඒක පොළොව මතුපිටටත් බල පානවද ගිලා බැහැලා එහෙම?

    තව බෝතලේ කතාවක් ලියමු. මේක හරිම අතීත කාමය අවුස්සන කතාවක්. Thanks Rangi.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න, මේකට චිත්‍රයක් අඳින්න කියලා හොයනකොට ගේ හරියේ ආසාවට A4 කොළයක් තිබුනෙ නෑ. පුතාගෙන් චිත්‍ර පොතෙන් කොළයක් ඉල්ලුවම "අපෝ කොළ කැඩුවම බනිනවා" කිව්වා. ඉතින් මම එයාගෙ කටු වැඩ පොතේ ඇන්ඳා.

      පතල් ගැනනම් වැඩි විස්තරයක් දන්නෙ නෑ මචං. මම දන්නෙ ඔය කියන කාලෙ වෙනකොටත් ඒවා අතෑරලා දාලා ගොඩාක් කල් කියලා විතරයි. එහෙම ගිලා බැහීම් නම් අපි නෝට් කරලත් නෑ, හැබෑයි නෑම කියන්නත් බෑ මොකද රෑනගල හැම තැනම නැගීම් බැසීම් තමා. සමහර විට සමහර තැන් එහෙම ගිලා බැහැලා ස්තීරවම තද වෙච්ච තැන්ද කියන්නත් බෑ...

      මොනවද ලියන්නෙ කියලා තමා කල්පනා කළේ. උඹලෑ ඉල්ලීම් සළකලා ලියන්නම් වාලේ මොනවා හරි ලියුවොත් මට හිතෙනවා උඹලා ආසාවෙන් රස විඳපු මේ කතා කීපයෙත් ගතිය යයි කියලා.. බලමු ඉස්සරහට...

      බොහොම ස්තූතියි ඩූඩේ...

      Delete
  8. බෝතලේ කතා හරියට කෙහෙල්කොටුවේ චුටි මහත්තයාගේ කතා වගේ පණ තියෙන එව්වා.
    අපේ ගම්පැති වල ඔය සරුංගල් යැව්වේ ටෙලිෆෝන් හරි කරන්ට් වයර් එකක් උඩින් හරි නුල දාලා අතින් ඇද ඇද කියලායි මතකය.අපේ පැතිවල දුවන්න පිට්ටනි,ඔය රෑනගලවල් එහෙම තිබ්බේ නැහැනේ.

    විමලසිරියා බලහත්කාරයෙන් උනත් දුන්නේ සාධාරණ ගාණක්ද ?

    ReplyDelete
    Replies
    1. හරි බයානකයිනෙ බන් කරන්ට් වයර් උඩින් යවන එක. කාටවත් කරන්ට් එක වැදුනේ නෑ !

      ඒ කාලේ හැටියට රුපියල් පහ වටිනවා සරුංගලේට...

      Delete
  9. ලස්සන රූප කතාවක සැරිසැරුවා කියන්න පුලුවන්, බොහෝම ලස්සනයි. අගෙයි.

    අපේ ගමේ පැත්තක තිබුණ කජු පුහුලන්, දම්, වීර පිරුණ වනරෝදේ ඇවිද්ද ළමා කාලය මතක් වුනා.

    ඒ කැලෑරොදේ ඇවිදින්න ගිහින් පාර වැරදුන වාර අනන්තයි. ඒ වෙලාවට තමයි කට්ටියට මතක් වෙන්නේ කැලේ ඉන්න යකා, බුබුල ලිඳේ ඉන්න යකා ගැන. 2004 සුනාමියෙන් අවතැන් වූවන්ට ගෙවල් හදන්න ඒ භූමිය එළිකරලා දැන් නම් හරිම වෙනස්. කැලේ හිටපු එවුන් කොහොම වෙතත් ගෙවල් හැදීමෙන් නම් ලොකු පොඩි යක්කු කෑවාලු ඉහගෙනම.

    ReplyDelete
    Replies
    1. හැමදේම කාලයේ විපරියාසෙට අහුවෙලා නේද ඩීන් අයියා. ඕකුන් යක්කු නෙමේ මලපෙරේතයෝ, හැමතැනම ඉන්නවා..

      Delete
  10. සෙන්නා, පහුගිය මාසේ හමාර ඉතාමත් බිසී තත්වයෙන් හිටිය නිසා, මම අද ආවා බලන්න 'එබෝලා රෝගියා'... මොකද වුණේ පෝස්ට් ටිකට?

    ReplyDelete
    Replies
    1. තිසර, සිදුවූ අපහසුතාවයට කනගාටුයි. මම ඒක හදන්නම්.

      Delete
  11. Obalage mithureku wana Wicharaka thuma miyagiya eka gana eka lipiyakwath neththe ay???

    ReplyDelete
  12. Obalage mithureku wana wicharaka thuma miyagiya eka gana lipiyakwath yan naththe ay??

    ReplyDelete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!